Sunday, May 10, 2015

සුලෝචනා ගබ්සාවක් කර ගත්තාය



කාන්තාව බලගැන්වීම හැර වෙන කිසිම අරමුණක් මෙම බ්ලොග් එකට නැත. ප්‍රජනන අයිතීන් ගෙන් තොරව කාන්තාව බලගැන්වීම විහිළුවකි.නොබියවම ඒ ගැන කතා කළ යුත්තේ එබැවිනි. ප්‍රධාන වශයෙන්ම ගබ්සා අයිතීන් ගැන කතා කරන්නේ ඒ ගැන කතා කරනවා අඩු නිසාය. ගබ්සාව සම්බන්ධ අන්තර්ජාතික ක්‍රියාකාරකම් සිංහලට පරිවර්තනය කරමු.



මෙම කතාවේ ප්‍රධාන චරිතය වන සුලෝචනා සිය අයිතිවාසිකම් ගැන කිසිවෙකු ඉදිරියේ හඩා වැටෙන්නේ නැත. එසේම තම ශරීරය ගැන තීරන ගැනීම තමන්ගේ වැඩක් නිසා ගබ්සාවට ඊනියා හේතු දක්වන්නේද නැත. ඇයගේ එකම හේතුව ඇයගේ කැමැත්ත හා අවශ්‍යතාවයයි. මෙහි සදහන් සමහර දේවල් සමහර කෙනෙකුට ටිකක් බරපතල වැඩි වුවද අපට කීමට අවශ්‍ය දේ නොසඟවා පැහැදිලිව කීම ට මෙම චරිතය පරමාදර්ශී චරිතයක් ලෙස මේ ආකාරයෙන් නිර්මාණය කලෙමු.

කියවන්න කියවා අදහස් දක්වන්න


                  සුලෝචනා ගබ්සාවක් කර ගත්තාය

.

මගේ සිතිවිලි දැහැන බිදුනේ නැන්දම්මාගේ කරුණාබර හඩිනි

සේවය නිමවා නිවසට ආවත් කුස්සියට යාමට සිතක් නැත. ඊයේ සිදුවූ කලබගෑනිය නිවසේ බිත්ති අතර නින්නාද වෙයි. එහෙත් නිවැසියන් අතර නම් ඇත්තේ බෝම්බයක් පිපිරුන පසු ඇතිවන තැතිගැන්මක් වැනි දෙයකි.


නැන්දම්මා තේ එකක් හදාගෙන සිනාමුසු මුහුණින් මා ඉදිරියේය. මා ආයාසයෙන් සිනාසීමට උත්සාහ කළෙමි.මට ඇය ගැන ඇතිවුනේ දුකකි. ලේලිය වී මා මෙම නිවසට ආ දා සිට  ඇය මට සැළකුවේ ඇයගේම දියණියකට මෙනි. මට වෙලාවකට සිතුනේ මගේ මවටත් වඩා ඇය මට ආදරේ කියායි.ඇත්තෙන්ම විවාහ වූ දා සිට මේ නිවසේ සුවිශේෂම පුද්ගලයා වුනේ මාය. මාමන්ඩිද මට දැක්වූවේ ගරුත්වයක් වැනි දෙයකි. සැමියා චතුර නිතරම දෙමාපියන්ගේ බහට නැමෙන කෙනෙකි. එහෙත් මගේ වචනයටද පිටින් නොගියේය.ඔහුටද මා ගැන තිබුනේ රටක් රාජ්ජයක් ලැබුනා වැනි හැඟීමකි.

ඊයේ බෝම්බය පුපුරා යන තුරුම මේ තත්වය තිබිණි.


මට මේ මිනිසුන් ගැන දුකක් සිතුනේ මොවුන්ද මා මෙන්ම සිරකරුවන් පිරිසක් බැවිනි. ඔවුන්ට ඔවුන්ගේ ලෝකයෙන් මිදිය නොහැක. ඔවුන් මටද සිරකාරියක් වීමට ආරාධනය කරති. මා කළ යුත්තේ කුමක්ද

මෙයද ජීවිතය.


රැකියාව කැපවීමෙන් කරන නිසා ආයතනයට මා නැතිවම බැරි කෙනෙක් වූයේ නිරායාසයෙනි. මට හොද අනාගතයක් ඇති බව හැමෝම කීහ. නැති තැනවත් මගේ දොසක් නොකියන මටටමට ආවේ සියළුදෙනා සමග සුහදව කටයුතු කිරීමේ මගේ සහජ ගතිය නිසාය.

මා ඉතා සම්ප්‍රදායික කාන්තාවක් බව ඔවුන්ගේ මතය විය.මා අදින පළදින විදිය ඊට හේතුවන්නට ඇත. මෙම ආකල්පය නිසා පිරිමින්ද මට දැක්වූවේ ගරුත්වයක් වැනි හැඟීමකි.අනුන් ආකර්ශනය කරගැනීමේ හැකියාවක් මට තිබිනි. කොටින්ම කීවොත් මාවත් නොදන්න බලයක් මට විය. ආයතනයේ මෙම තත්වය මගේ වාසනාවක්දැයි මම නොදනිමි. එහෙත් අනුන් මා ගැන සිතන දෙයට ඔබ්බෙන් ජීවිතයක් මට තිබිණි.


නැන්දම්මා සහ පවුලේ අය මට දැක්වූ ආදරය දෙගුන තෙගුන වුනේ ඔවුන්ගේ මහා බලාපොරොත්තුව මා හරහා ඉටුවන බව දැනගත් මොහොතේය. මෙයින් එක කරුණක් නිරාකරනය විය. එනම් ඔවුන්ට මාව අවශ්‍ය කිසියම් කාර්යභාරයකට බවයි. ඉන් පසු මටද ඔවුන් ගැන තිබූ පහන් සිතිවිලි කෙමෙන් කෙමෙන් මැකීයන්නට විය.

මමද දරු උපතට සූදානම් වූයෙමි. නෑයෝද ආයතනයේ හිතවතුන්ද සතුටු වූ බව පෙනුනි. ඔවුන් නම් සතුටුවුනේ අවංකවමය.

මට ගෙදරින් ලැබෙන සැළකිලි වැඩිවුනත් මහ කරදරයක් විය. මම කිරි එළදෙනක් බවට පත්විය. පැටවා ලැබෙන තෙක් බලාසිටින කිරි ගොවියෙක් මෙන් ඔවුහු මටද සාත්තු සප්පායම් කරති.

මගේ විනෝදාංශය පුවත්පත්වලට කවි ලිවීමයි . මගේ කවි කියවූ යෙහෙළියෝ ඒවා ලස්සනයි කියා කීවත් ඔවුන්ට ඒවා නොතේරෙන බව දැන සිටියෙමි.විවාහ වූ පසු කාර්යබහුල නිසා කවි ලිවීම මගහැරුනි. කවිවලින් කියවුන අදහස් මා දරණ බව ඔවුන්නම් කීයටවත් සිතන්නේ නැත. සිරගත ගැහැනිය ගන ඔවුන්ට සිතන්නට කොයින්ද වෙලාවක්.ඔවුහුද සිරකරුවෝය.


පැරණි යහළු යෙහෙළියෝද දැන් නැත. ඉදහිට නිරංජලා නම් මාව බලන්නට එයි. ඇය මගේ සිත ගත්තේ ඇය අනුන්ට නොව තමන්ට ඕනෑ ලෙස ජීවත්වන බැවිනි. නිවසේ පූජ්‍ය භාන්ඩයක් වී ඇති මා ගැන ඇයට සතුටක් නොවීය. මා දරු උපතට සූදානම් වන විට ඇය මගේ මූණටම කීවේ  " උඹ පවුලෙ කොන්ත්‍රාත් එක හරියට කලා එහෙනම් " කියාය. 

මට ම කියා ජීවිතයක් නැත. ගෙඩියක් හැදෙන තුරු ගසක් දෙස බලාසිටින පරිද්දෙන් ඔවුහු මා දෙස බලා සිටිති. එසේ නැත්නම් පැටවා ලැබෙන තුරු ආදරයෙන්  සාත්තු කරන එළදෙනකි.ඔවුන්ට මගෙන් වැඩක් නැත. ඔවුන්ට අවශ්ය මුණුපුරෙකි. එච්චරමය. මගේ රැකියාව ගැනද ඔවුන්ට වැදගත්කමක් නොවීය. ගෙදර නවතින ලෙස ඔවුහු නොකියා කීවෝය. ඔවුන්ට ඇත්තටම අවශ්‍ය ලේලියක් නොව දරුවන් තනන යන්ත්‍රයකි. දරුවා ලැබීමෙන් පසුව ගෙදර නවතින ලෙස කෙළින්ම කියනු ඇත.



මා එළදෙනක් වී සිටීම ගැන නිරංජලා සතුටු නොවූවාය. මගේ නිදහස එන්න එන්නම සීමාවන බව මටද තේරුනි. දරුවා ලැබීමෙන් පසු ගෙදර නවතින මා එතැන් පටන් නියමම සිරකාරියකි, සාම්ප්‍රදායික ගැහැණියකි.


සිරිත් පරිදි වැඩට ගියෙමි. ගර්භනී වීම නිසා මට ලැබෙන සැළකිලිවලට ප්‍රිය නොකලෙමි.ආයතනයේ යෙහෙළියෝ විවිධ ආගමික වැඩසටහන් වලට මා කැදවා ගෙන ගියහ. මම ඒවාට ගියේ ඔවුන්ගේ සිත් සතුටු කිරීමය. මා කන්න කැමතිදේ සාදා ගෙනත් දීමට උනන්දුවෙන් කටයුතු කළහ.



මටත් නොදැනිම මා මේ පරිසරයේ ආගන්තුකයෙක් වීමි. මට සතුටකට තිබුනේ නිරංජලා වැනි අවංක මිතුරියන්ය. නිරංජලා මෙන් නිතර මාව බලන්නට නාවත් ෆෝන් එකෙන් ඔවුන් හා මගේ සම්බන්ධතා විය.

"අනේ සුලෝචනා ඔයාට නිවුස් එකක් තියනවා. "


"ඒක සතුටයි දුකයි එකපාරම ඇතිවෙන එකක්. හා කියන්න ඉස්සරවෙලා අඩන්නද හිනාවෙන්නද කියල "වාසනා ඇසුවේ සුරතලයෙනි.

මට ඇතිවුනේ කුහුලකි. දුකයි සතුටයි එකපාර .ඒ මොන නිව්ස් එකක්ද

"ඕන එකක් කමක් නෑ කියපන්" මා ඇසුවේ සැහැල්ලුවෙනි.

"මට උඹේ මූන බලාගෙන කියන්නත් දුකයි බන්."ඇය මා දෙස ටික වෙලාවක් බලා සිටියාය. වාසනාගේ හැටි එහෙමය. කෙළිලොල්ය මට ඇත්තටම ආදරේය. එහෙම කිව්වත් මට දැන් නම් මොකෙකුගෙවත් ආදරයක් විශ්වාස නැත. මේකිත් ආදරේ කරන්නෙ ගෙදර උන් වගෙ වෙන මොකකටවත්ද

"සුලෝචනා උබට ස්කෝලර්ශිප් එක ඇවිත් ."වාසනා කීවේ මහත් ලෝබකමින් වචන පිටකරන්නාක් සේය.


"ඉතින් ඕකෙ දුක මොකක්ද සතුටක්නෙ. මම කොයි තරම් කාලයක් බලාගෙනද සිටියෙ. "මා කීවේ සැහැල්ලුවෙනි.


"උඹට යන්න වෙන්නෙ නෑනෙ. "වාසනා ඇසුවාය.

"ඇයි යන්න වෙන්නෙ නැත්තෙ "මම ඇසුවේ.

"හනේ හනේ මේ ටිකට අමතක වුනාද අම්ම කෙනෙක් වෙන්න යන බව. "වාසනා ඇසුවේ බොරු නෝක්කාඩුකමක් මවා ගනිමිනි.


"මම ගබ්සාවක් කර ගන්නවා "
මා කීවේ ඉතා සැහැල්ලුවෙනි.

හෙන පුපුරන හඩින් බිරාන්ත වූ වාසනා ට මගේ වචන අදහා ගත නොහැකි විය. ටික වෙලාවකින්

"උඹ නම් මාර විහිළු කරන්නෙ. අනේ බන් ඔහොම හිතන එකත් පවු " යි කීවාය.

මම සිනාසුනෙමි.



මා හැරුන විට මෙම ශිෂ්‍යත්වය ලැබුන මලිත් ට හෝ අයේශ් ට හෝ මේ ප්‍රශ්න කිසිවක් නැත. ඇත්තටම මටද නැත.

ශිෂ්‍යත්වය ලැබීම නිසා මා සිටියේ සතුටිනි. ගෙදර ආ විගස  චතුරට කීවත් ඔහුට වගේ වගක් නැත. ඔහු කිසිවක්ම නොකීවේය. 

"ඇයි කන් ඇහෙන්නෙ නැද්ද"

"කන් නං ඇහෙනව. ඒත් ඉතින් මේ තත්වෙන් ඔයාට රට යන්න බෑනෙ " චතුරගේ සරල පිළිතුර එයයි.

"ඇයි බැරි මම යනවා " මා කීවේ හිතුවක්කාර ලෙසය.

චතුර හැරිලාවත් බැලුවේ නැත. පළමු වරට ඔහු ගැන ඇතිවුනේ කළ කිරීමකි.



ගබ්සාවක් කර ගැනීමට මා ස්ථිරවම තීරනය කලෙමි. නිරංජලාට ඒ බව කීවත් ඇය මගේ තීරණයට කිසිලෙසකින්වත් බලපෑමක් නොකලාය.යන්තමින් හෝ අනුබලයක් නොදීමට ප්‍රවේසම් වූවාය. මට ඇය ගැන ඇතිවුනේ පුදුමයකි. ජීවිතය මගේය මගේ ජීවිතය ගැන තීරණයද මගේම විය යුතුය.


කෑම මේසයේදීම බෝම්බය පිපිරවීමට බලාපොරොත්තු වුනෙමි.එහෙත් එම අදහස වෙනස් කරගත්තේ එය නුසුදුසු යැයි සිතාය.පසුව නිවී හනේ ආයාචනාත්මක ලීලාවෙන් මේ ගැන කියන්නට සිතුවෙමි. එහෙත් මගේ තීරනයනම් වෙනස් කරන්නට ඔවුන්ට බැරිය. 

එහෙත් නැන්දම්මාගේත් මාමන්ඩිගේත් චතුරගේත් කතාව එකම මාතෘකාවකි. ඒ අනාගත මුණුපුරාය.මගේ ඉවසීම දරාගෙන සිටි උපරිමයටම ලගාවිය. මේ අයගේ ලෝකය කුඩුපට්ටම්වීමට බෝම්බයෙන් දමා ගැසුවෙමි.


"මම ගබ්සාවක් කරගන්නයි ඉන්නෙ "

හෙන දහසක් පුපුරන හඩින් සියල්ලෝම බිරාන්තව ගියහ. ඉතිරි වචන ටිකද කියා කාමරයට වැදුනෙමි.

අපේ නිවසේ බෝම්බය පිපිරුනේ එලෙසයි. 

මට තුබූ ආදරය අතුරුදන්ව ගොසිනි. ආයාචනා විලාප බැන අඩගැසුම් කෙළවරක් නොවීය. මා වැඩට ගියෙමි. මා සිතුවේ ගෙදර කිසිවෙක් මා හා කතා නොකරාවි කියාය. එහෙත් නැන්දම්මා තේ එකක් හදා ගෙන ඇවිත් සිටී.


උකුළ මත මගේ හිස තබාගෙන පිරිමදින්නට වූවාය.


"අම්මා අම්මලගෙ කාලෙ වගෙ නොවෙයි දැන්. සමහර විට අම්මටත් ගබ්සාවක් කරගන්න ඕන වෙන්න ඇති. ඒත් ඒක කරගන්න තියා කෙළින්ම මෙහෙම කියාගන්නවත් අම්මට බැරිව ඉන්න ඇති."

නැන්දම්මා කිසිවක්ම නොකීවාය. ඇයට කියන්නට දෙයක් නැත.

මම කිසිත් සිදුනොවුනා සේ වැඩට ගියෙමි. ශිෂ්‍යත්වය භාරගන්නා බවත් දරුගැබ ගබ්සා කරගන්න බවත් නොපැකිළිවම කීවෙමි. 

දැන් උදාවී ඇත්තේ ගෙදර අය මෙන්ම රැකියා කරන තැන හිතවතුන්ද මට බණ කියන මොහොතය. මට හිනා යන්නටත් ආවේ ගෙදර අය කී දේම මේ අයද කී බැවිනි.එහෙත් වෙනසක්ද විය.

හුගක් බණ දන්න අය මා ප්‍රමාද වුනා වැඩි බවත් දැන් ගබ්සා කිරීමෙන් කලලයට වේදනාව දැනෙන බවත් කීහ.

මේ නාටකයෙන් හෙම්බත්වී සිටි මා පොල්ලෙන් ගහන්නාසේ උත්තර දීමට පුරුදුවී සිටියෙමි. එය මට විනෝදයක්ද විය.


'කලලයෙ වේදනාව උඹල දන්නෙ කොහොමද අනික බන් මට ඒකෙන් වැඩක් නෑ."

මෙසේ කියන විට මා දෙස බලන ඔවුන්ගේ මුහුණු බලන්න ලස්සනය. ඇත්තටම මට මොවුන් ගැන ඇත්තේ අනුකම්පාවකි. මොවුහු සම්ප්‍රදායේ සිරකරුවෝය. ඔවුන්ට අනුව ගබ්සාව දරුණු අපරාධයකි. ගබ්සා කරගන්නේ ගණිකාවෝය. මහා පාප කර්මයකි. අම්මා කෙනෙක් සිතන්නවත් හොද නැති මහා දරුණු ක්‍රියාවකි.

පිරිමි මිතුරන් සමග මා මේ ගැන වැඩි කතාවට නාවත් මා හමුවීමට ආ මිතුරියන් දෙතුන් දෙන්කුට පොඩි ලෙක්චර් එකක් දුනිමි.


'උඹල හිතන තරම් ලොකු දෙයක් මෙතන නෑ. දවසට තුන් හාරසීයක් ගබ්සා හොර රහසෙ සිද්ධවෙනව. ඒවගෙන් වැඩි ප්‍රමාණයක් කරගන්නෙ විවාහක කාන්තාවන්. මමත් බණ දන්නව. උඹලටත් පුදුම ආගමට ලැදි මම මෙහෙම කරන එකෙනෙ. හැබැයි ආගමටවත් ආගමික නායකයන්ටවත් ආන්ඩුවටවත් කොටින්ම මගෙ ගෙදර උන්ටවත් මගෙ ශරීරය ගැන තීරණ ගන්න බෑ. "


"මේ කිසිම ආන්දෝලනයක් නැතිව මේක හොර රහසෙ කරගන්න මට තිබුනා. ඒත් උඹල දැන් ගබ්සාව ගැන යමක් දන්නවා. ඒක උඹල අපි ගෑනුන්ගෙ අයිතියක්. ඒක උඹල දැනගෙන ඉන්න ඕන. මේ අයිතිය අපට නීත්‍යානුකූලව ලැබිල නෑ. ඒක ලබාගන්න ඕන. ඒක නිකම් දෙන්නෙ නෑ. ඒකට ලොකු ගමනක් යන්න ඕන . කා එක්කද අපි ඒ ගමන යන්නෙ. උඹල වගෙ සම්ප්‍රදායික අම්මකම තියන උන් එක්කද"

'මේ ඔක්කොම සමාජයෙන් අපට පටවපු දේවල්. අපි අනුන්ට ඕන විදියට ජීව්ත් වෙන්න ඕන නෑ. මම මේ ප්‍රශ්නෙදි හැසිරුන හැටි උඹල දැක්කනෙ."

මිතුරියෝ මා දෙස බලා ගත්වනම සිටියහ. එහෙත් ඇත්තෙන්ම මාව වරදින් මුදවන්න ආ අය නොවේ දැන් ඉන්නේ. සියල්ලෝම මට අවනත වී ඇත.


"ගබ්සා කරගැනීමේ අයිතිය ලබා ගන්නත් ඒ සදහා පහසුකම් ලබා ගන්නත් අපි සටන් කරන්න ඕන. පිටරටවල ගෑනුන්ට ඒ අයිතිය ලැබිල තියෙන්නෙ උන් ඒ වෙනුවෙන් බය නැතිව ප්‍රසිද්ධියෙ සටන් කළ නිසා.උඹල කතා කරන්නත් බයනෙ. ඔය අම්මකම ගැනනම් වචනයක් කතා කරන්න එපා. ඕක බොරුවක් . අපට අටවපු මර උගුලක්."


මා නිහඩ වුනේ මිතුරියන්ටත් යමක් සිතන්නටය. ඔවුන්ට කියන්න දෙයක් නැත.උන්ට තර්ක කරන්න බැරිය. මගේ බඩ මගේ නොවන බවද එකියක කීවාය. මම සිනාසුනෙමි. එය කිරි අයිති පැටියට කියා කියනවා මෙනි.



"ගබ්සා කළාට කමක් නෑ කළලයෙ මොකක් හරි ප්‍රශ්නයක් තියනවනම් . දූෂනය වුන ළැමයෙකුටත් ගබ්සා කරන්න දුන්නට කමක් නෑ. ඒත් ඔයා වගෙ වාසනාවන්ත බඩක උපදින්න පින්කරපු ඒ පැටිය මරා දාන්නෙ මොන හිතකින්ද අනේ . " ඒ කම්මුලේ අත තබාගත් නිසංසලාය.

මොවුහු කපටින් නොවෙති. මේ ඔවුන්ට පැටවූ අදහස්ය. 


"කළලයෙ ප්‍රශ්නයක් වත් කළලය ඇතිවුනේ දූෂනයකින්ද කියන එකවත් නෙමේ මෙතන ප්‍රශ්නෙ. ඔය කියන හේතු උඩවත් නීත්‍යායානුකූල ගබ්සාවක් කරගන්න බැහැනෙ. මෙතන ප්‍රධානම හේතුව කළලය දරන ගෑනිගෙ කැමැත්ත. ඔක්කොටම ඉස්සරවෙලා තමන්ගෙ ශරීරය පාලනය කරන්න තමන්ගෙ ශරීරය ගැන තීරණ ගන්න ඒ ගෑනිට තියන අයිතියට සමාජය ගරුකරන්න ඕන. "

"මෙතන තියෙන්නෙ මගෙ කැමැත්ත. මගෙ ඉල්ලීම , මගෙ අවශ්යතාවය. ඇයි මාව විශ්වාස කරන්න බැරි. කොහෙවත් නැති කළලයක් ගැන වද වෙන්නෙ? ඇයි ගෑනුන්ව විශ්වාස කරන්න බැරි "මම ඇසුවෙමි.


ඔවුන්ට කියන්න දෙයක් නැත. 

පැයක් පමණ අප මේ ගැන කතා කලෙමු. මට බන කියනන් ආවත් දැන් මම උන්ට බන කියමි. කතාව අවසන් වුනේ උන් මගෙ කතාව අනුමත කරමිනි. උන් පිටව ගිය පසු ඇසුනේ පිරී කටහඩකි.

"මොකෝ බන් වුනේ " 

"ඒකි කියන දේවලත් ඇත්තක් තියනව බන් " ඒ නිසන්සලාගේ කටහඩය.


මට ඇතිවුනේ සතුටකි. ගබ්සාව තම අයිතියක් බවවත් දැන් ඔවුහු දනිති. වරද ඔවුන්ගේ නොවේ ඔවුන්ට කරුණු පැහැදිලිකර දෙන්නට කෙනෙක් නොසිටි එකය.

සිදුවූ වෙනස පුදුමාකාරය. මගේ ධෛර්යද වැඩුනි.

දිනය උදාවිය.

වැඩට යන්න පෙර මම අද යාළුවෙකුගෙ ගෙදර යනව දවස් දෙක තුනනක් එන්නෙ නෑ කියා කී විට චතුර ඇසුවේ ඇයි ඔයාට මේ තත්වෙන් එහෙමෙහෙ ඇවිදින්න හොදද කියාය.

ඔවුහු තවම බලාපොරොත්තු අත හැර නැත.

මා ආපසු නිවසට ආවේ ගබ්සාව කරගෙන කෙටි විවේකයක්ද ලබාගෙන සැහැල්ලු සිතිනි.


මා ගබ්සාව කරගත් බව ගෙදර අය දනිති. ඔවුන් සිතන දේවල්වලින් මට වැඩක් නැත. මම විදෙස් සංචාරයට සූදානම් වූයෙමි.

රොස් පරොස් අඩුනොවීය. චතුර මගෙ පැත්ත ගනිමින් ශිෂ්‍යත්වයේ වටිනාකමත් ඉන් පසු මට උසස් වීම් ලැබෙන හැටි ගැනත් නැන්දම්මාටත් මාමන්ඩිටත් කරුණු පැහැදිලි කළේය. මම ඒ කිසිම කතාවකට සම්බන්ධ නොවුනෙමි.


විදෙස් සංචාරය නිමවා ආපසු ආවෙමි. නැන්දම්මාත් මාමන්ඩිත් චතුරත් මට ආදරේය. ඉස්සර මෙන් මගෙන් කිසිවක් බලාපොරොත්තුවෙන් නොවේ. ඒ නිසා පවුලේ සතුට ඇත.ආදරය අවංක බැවිනි.


ගබ්සාවක් කර ගැනීමට නොහැකිව දුක් විදින කාන්තාවන් ගැන මම චතුරට කීවිට ඔහුද ඒ ගැන සංවේදී විය. ඔවුන්ට උදව් කිරීමට යමක් කළ යුතුයැයි මට සිතුනේ වරක් දෙවරක් නොවේ. මේ ගැන නිරංජලා ඇතුළු මගේ මිතුරියන් සමගද සාකච්ඡා කලෙමි. මගේ රැකියාවද සමාජ සේවා සම්බන්ධ එකක් නිසා වැඩේ පහසුය. චතුරද මේ සාකච්ඡාවලට සම්බන්ධ වුනේ උනන්දුවෙනි.


අප මේ සම්බන්ධව කිසියම් වැඩපිළිවෙළක නිරත වෙමු. බොහෝ සාකච්ඡා සිදුවන්නේ අපගේ නිවසේය. ලස්සනම දෙය නම් ගෙදරට එන අයට සළකන්නට නැන්දම්මාගේ ඇති උනන්දුවයි. ගබ්සාවක් කරගැනීම ගෑනියෙකුගෙ අයිතියක් බව මහළු නැන්දම්මාටද තේරුම් ගොස් ඇත. ඇයගේ අයිතිය මංකොල්ල කෑබවත් ඇයට අවබෝධ වී ඇත. අපට දිරි දෙන්නේ එනිසාය .ගෙදරින් පිට තත්වය වඩා යහපත්ය. අපේ කට්ටිය ගබ්සාව ගැන ප්‍රසිද්ධියේ කතාකරන නිසා අපේ හඩ ඉස්මතුවී ඇසේ. ගබ්සාවක් කරගැනීම ලැජ්ජාවක් හෝ නරක දෙයක් ලෙස සැලකූ අය මවිතයට පත් කරමින් ගබ්සාවක් කරගත් බව මා ප්‍රසිද්ධියේ කියන නිසා එහි ඇති අරුම පුදුම බවද අඩුවී ඇත.

ගබ්සාව අවශ්‍ය මවුවරුන්ට හා දියණියන්ටය. අම්මලා සහ නැන්දම්මලා දියණියන්ගේ හා ලේලිලාගේ ප්‍රගතිය දැක යටිසිතින් සිනාසෙති. සතුටු කදුළු හෙළුවත් අනුන් පෙනේ යැයි බියෙන් දෑස් පිස ගනිති. එහෙත් අපට ඒ ගැන බයක් නැත. අපේ අයිතිවාසිකම් ගැන කේවෙල් කිරීමක් නැති බැවිනි.

15 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. ගබ්සාව දක්වා දුරදිග යන්න කලින් රටේ පිළිගත් ක්‍රමේට පවුල් ජීවිතයක් ගතකරන ගමන් දරුවන් හදාගන්න උනන්දු වෙන එක වඩා හොඳය.

    ReplyDelete
  4. වෙනස් මතයක් ඒක්ක පටං ගත්තු බ්ලොගයක්..... අාරම්භයට සුභ පතනවා වගේම දිගට ම කරගෙන යන්න ශක්තිය ධෙෙර්‍යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
  5. මා ගබ්සාව සම්න්ධයෙන් ලියන ලද ලිපිය ඔබේ අවධානයට ලක්වෙන්න ඇති කියලා මම හිතනවා. ලිංගිකත්වය සහ ප්‍රජනනය පිළිබද අවබෝධය වැඩිකිරීම සහ උපත් පාලනය පිළිබද අවබෝධය වැඩිකිරිම හරහා ගබ්සාවෙහි අවශ්‍යතාවය අවම කිරිම ලංකාව වැනි සමාජයක ගබ්සාව නීතිගතකිරිමට වඩා ඉක්මනින් සිදුකළ හැකි විසදුම වශයෙන් මම විශ්වාස කරනවා. ඒ පිළිබද ඔබේ අදහස් දැනගැනීමට කැමතියි.

    ReplyDelete
    Replies
    1. ඔය සියළු ක්‍රම භාවිතා කළත් අනවශ්‍ය ගැබ්ගැනීම් සිදුවිය හැකියි. අප කතා කරන්නේ වෙනස් දෙයක්. අනවශ්‍ය ගැබ් ගැනීමක් නොවුනත් දරුගැබ පවත්වාගෙන යනවාද නැද්ද යන්න තීරණය කළ යුත්තේ ගැබ දරන කාන්තාවයි. ගැබ් ගත් පසුව ගබ්සා කරගැනීමට ඇයට අවශ්‍ය විය හැකියි සුලෝචනාට මෙන්. ගබ්සාවක් කරගැනීමට ඇයට අවශ්‍ය වුනොත් එය ආරක්ෂිතව හා පහසු මිලට සිදු කරගත හැකි විය යුතුයි.

      Delete
    2. This comment has been removed by the author.

      Delete
    3. ඔවු..ඒක හරි...ඒත් ප්‍රාණයක් නසන එක හොඳ වැඩක්ද?දරුවෙක් කියන්නේ ලෝකයක අනාගතය.ජීවිතයක් ගැන මේ තරම් සරලව හිතන්නේ කොහොමද?

      Delete
    4. This comment has been removed by the author.

      Delete
  6. කාන්තාව ගේ සිරුර පිළිබඳ තීරණ ගැනීමේ අයිතිය ඇයට හිමිවිය යුතු බවට සැකයක් නෑ.

    නමුත්, පිරිමි සහකරුවා සමග ඔහුගේ ශුක්‍රාණු සහ ඇයගේ ඩිම්බය භාවිතා කර දරුවෙකු බිහි කරන්නට වාචිකව හෝ පොරොන්දුවක් වී ඇති නම්, ඔහුගේ එකඟතාවයෙන් තොරව සහ සෞඛ්‍යමය හේතුවක් නොමැතිව ඇය පමණක් ඒක පාර්ශවික තීරණයක් ගෙන ගබ්සාවක් කර ගත හොත්, දුන් පොරොන්දුව කඩකිරීම පිළිබඳ ප්‍රශ්ණයක් මෙහි දී ඇතිවෙනවා.

    ReplyDelete
  7. මේ ගැන හුඟ දෙනෙක් කතා කරන්නේ කළලයක් යනු පණ ඇති දරුවෙකුය කියා සළකායි.

    ඒක, දවස උදාවෙන්නේ මධ්‍යම රාත්‍රී 12:00 ට ද නැතිනම් ඉර උදාවත් සමග ද, වගේ ප්‍රශ්ණයක්!

    ReplyDelete
  8. මේක ටිකක් නෙවෙයි ගොඩාක් ඔවර් යනවා වගේ. මෙහෙම කතාවක් ලංකාවෙ වෙන්න තියෙන ඉඩ ඇත්තෙම නැති තරම්. ළමයෙක් නොහද ස්කොල් එනකං බලං ඉන්න අම්මලා ඉන්නවා. හැබැයි බඩට ආපු දරැව ගබ්සා කරල ස්කොල් ගන්න අම්මලා නම් හැබෑ ලෝකෙ නෑ. ඒ නිසා මේ කතාව මට නම් මාර අභව්‍යයි

    ReplyDelete
  9. තමන්ට ඉලක්කයක් තිබේනම් එ් ගමනට බදාවන සියල්ල අත් හැරිමේ අයිතිය එම පුද්ගයා සතුවේ. මැය නිවැරදි මන්ද අැයට ඉලක්කයක් තිබුනා එයට අැති බාදකය ඉවත් කරා. අනුන් කියන පලියට අපේ ජිවිතය ගෙන යා යුතුද. නමුත් ගබ්සාව සඳහා කළලයේ කාලය හා වාර ගණන තීරණය කර අවසර දිම කල යුතුය. නැතිනම් ගැබ දරාන්නාගේ ජිවිතයටද හානි විය හැකි බැවිනි.

    ReplyDelete

ඔබේ අදහස් කුමක් වුනත් එය මට ශක්තියකි. එහෙත් ලිපියට අදාල ව පමණක් කරුණු දක්වන්න.